එම්.සාර්ලිස් මහතා

එම්. සාර්ලිස්

වර්ෂ 1880 ජූනි මස 25 වැනි දින අම්බලන්ගොඩ දී උපත ලැබී ය. 

බෞද්ධ චිත්‍ර කලාවේ නව පුනරුදයක් ඇති කළ ශිල්පියෙකි. 

ටවර් නෘත්‍ය ශාලාවේ චිත්‍ර වස්ත්‍ර සකස් කළ රිචඩ් හෙන්රිකස්ගේ බටහිර චිත්‍ර කලා ශෛලීය ලක්ෂණ මොහුගේ බෞද්ධ චිත්‍ර නිර්මාණ සඳහා ආභාසය විය.

එම්. සාර්ලිස් ශිල්පියාගේ බෞද්ධ සිතුවම් නිර්මාණ බෙදා වෙන් කළ හැකි කොටස් 02.

1. විහාර සිතුවම් 

2. ලිතෝ මුද්‍රිත සිතුවම් 

යටත් විජිත කරණය තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී තිබූ බ්‍රිතාන්‍ය රැජිනයේ රූප වෙනුවට බෞද්ධ චිත්‍ර, සිංහල බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය කිරීමට පුරෝගාමී වූයේ මොහු ය. 

එම්. සාර්ලිස් ශිල්පියා විසින් අඳින ලද බෞද්ධ සිතුවම් 1923 දී ජර්මනියට යවා ලිතෝ මුද්‍රිත ක්‍රමයෙන් පිටපත් ලබා ගැනිණි. 

එවැනි සිතුවම් 36 ක් වූ අතර ඉන් කිහිපයක් මෙසේ ය.

– සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය 

– පියුම් පිට වැඩීම. 

– ශිල්ප දැක්වීම. 

– සිදුහත් යශෝධරා සරණ මංගල්‍යය 

– සිදුහත් කුමරු හා මව් බිසව. 

– සීවලී මහ රහතන් වහන්සේ

එම්. සාර්ලිස් ශිල්පියා විසින් සිතුවම් ඇඳි බෞද්ධ විහාරස්ථාන කිහිපයක්. 

– කොළඹ මාලිගාකන්ද විහාරය 

– ඉඳුරුවේ යාලගම විහාරය 

– මතුගම පාන්තිය ශ්‍රී මංගල විහාරය 

– පොතුපිටියේ පූජාරාමය 

එම්. සාර්ලිස් ශිල්පියාගේ සිතුවම් වල දැකිය හැකි කලා ලක්ෂණ 

– මනා සම්පිණ්ඩනය 

– පර්යාලෝක ලක්ෂණ දැක්වීම 

– එළිය අඳුර හා ත්‍රිමාන ලක්ෂණ දැක්වීම 

– දීප්තිමත් වර්ණ භාවිතය 

– විචිත්‍ර සැරසිලිකරණය 

– බටහිර ස්වාභාවික ආභාසය

සිදුහත් කුමරු හා මව් බිසව (ලිතෝ මුද්‍රිත)

අපරදිග / බටහිර ස්වාභාවිකවාදී චිත්‍ර ශෛලියේ ආභාසය අනුව රූප රචනය කර ඇත. 

පුනරුද යුගයේ චිත්‍ර ශිල්පීන් අඳින ලද මරියතුමිය හා ජේසු බිළිඳා දැක්වෙන මැඩෝනා චිත්‍රවල ආභාසය දැකගත හැකි ය. 

මානව රූප සඳහා විචිත්‍ර ලෙස යොදා ඇති වස්ත්‍රාභරණ පෙරදිග ශෛලියේ ආභාසය පෙන්නුම් කරයි. 

විශේෂයෙන් ඉන්දියානු සම්ප්‍රදායේ ඇඳුම් පැලඳුම්වල ලක්ෂණ කැපී පෙනේ.

රූපවල ත්‍රිමාන ලක්ෂණ හොඳින් මතු කර ඇති අතර විචිත්‍ර වර්ණමාලාවක් ද වේ. 

සිදුහත් කුමරු හා මව් බිසව දක්වා ඇත්තේ මාලිගා අභ්‍යන්තර සමීප රූප දර්ශනයක් ලෙසය. 

සමස්ත සිතුවමේ පෙර බිම හා පසුබිම පමණක් දක්වා ඇත. 

මාලිගා කවුළුවෙන් පෙනෙන පසු බිම පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයක් ලෙස දක්වා ඇත. 

පියුම් පිට වැඩීම (ලිතෝ මුද්‍රිත) 

චිත්‍ර අවකාශයේ ගැඹුර මතුවන සේ පර්යාලෝක ලක්ෂණ පෙන්වමින් ස්වභාවිකවාදී ශෛලියකින් රූප සංරචනය කිරීම දක්නට ලැබේ. 

පෙරබිම, මැදබිම හා පසුබිම යන තල මත පර්යාලෝක ලක්ෂණයට අනුගත වෙමින් රූප හා සිද්ධි ගණනාවක් සිතුවම් කර ඇත.  

සිතුවමේ පසුබිම් අවකාශය පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයකින් සමන්විතය. 

ත්‍රිමාන ලක්ෂණ මතු වන සේ විචිත්‍ර වර්ණ මාලාවක් භාවිතා කර ඇත.