
සකසුරුවම් හා ඉතිරි කිරීම – පාසල තුළින්
එදා අප මුතුත් මිත්තන්ගේ ආර්ථිකය හා බැඳුණු යහගුණ දෙකක් ලෙස සකසුරුවම හා ඉතිරි කිරීම දක්විය හැකි ය. කවරකු හෝ මහා පරිමාණයෙන් ඉතිරි කිරීමට සිතයි නම් එය කිසිදාක ඉටුකර ගත හැකි නොවනු ඇත එහෙත් තමාට හැකි පමණින් ඉතිරි කිරීමට පුරුදු වන තැනැත්තාට එහි ප්‍රතිඵල භුක්ති විඳීමට වැඩි කාලයක් බලා සිටින්නට සිදු නොවේ. එමෙන් ම සකසුරුවමට එසේත් නැත්නම් අරපිරිමැස්මට පුරුදු කොස් කෙනෙකුට කෙනෙක් ඉපයුව ද ඉතිරි කිරීමට නොහැකි වේ. ඇතැමුන් අරපිරිමැස්ම මසුරුකමක් හෝ ලෝභකමක් ලෙස අර්ථ දැක්වීම අනුවණකමකි. ඉතිරි කිරීමට මෙන් ම සකසුරුවමට කුඩා කාලයේ දී ම යොමු වන්නෝ භාග්‍යයවන්තයෝ වෙති.
එහෙත් මේ වටිනා පුරුද්ද අද අප සමාජයෙන් ගිලිහී යමින් පවතී. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජනප්‍රිය සංස්කෘතිය මගින් ජනතාව වෙත මුදා හැරෙන බහු භාණ්ඩ හා සේවාවන් ය. විවිධ භාණ්ඩ පරිභෝජනයටත් විවිධ සේවාවන් කෙරේ නැඹුරු වීමටත් සැම සමාජ මට්ටමක ම පුද්ගලයෝ විශේෂ ළැදියාවක් දක්වති. අද පවතින වාණිජත්වයේ එක ම අරමුණ වී ඇත්තේ පාරිභෝගිකයා ග්‍රහණයට හසුකර ගැනීමයි. මුල දී නාගරික මට්ටමෙන් පටන් ගත් මෙය අද ඈත එපිට ගම්මාන කරා ව්‍යාප්ත වීමෙන් ගැමි නිවෙස්වල තිබූ සකසුරුවම් දැන් දැන් අභාවයට යන බවක් පෙනේ. ඉහත සදහන් යහගුණ දෙස ජනතාවගෙන් දුරු කිරීමට වෙළදක් හා වෙළෙඳ දැන්වීම්කරුවන් සාර්ථක උත්සාහයක යෙදී ඇත.
මෙම සේවා භාණ්ඩ කෙරෙහි පාරිභෝගික සිත යොමු කිරීමට ඔවුන් ණය සහත ආදී ක්‍රම හඳුන්වා දීම නිසා ඉතිරි කිරීමක් හෝ අරපිරිමැස්මක් ගැන සීතීමටවත් පාරිභෝගිකයාට කාලය නැත්තේ තමා විසින් ගන්නා ලද භාණ්ඩවල මුදල හා පොලිය ගෙවීමට මගක් සොයන නිසා ය. මේ වෙළෙඳ උපක්‍රමයට සාමාන්‍ය ජනතාව පමණක් නොව, දැන උගත් අය ද හසු වී ඇත්තේ භාණ්ඩ සඳහා කෙරෙන ආකර්ෂණීය කථන ක්‍රම නිසාය. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ පුර්වෝක්ත ගුණාංග අප කෙරෙන් බැහැර වීමේ අවදානමයි.
මුළු රටට ම සෙත සලසන්නා වූ ඉහත ගුණාංග දෙක කෙසේ හෝ රැක නොගත්තොත් එහි ආදීනව ද මුළු රටට ම කවදා හෝ වන්නට සිදුවනු ඇත. ඉහත සඳහන් ජනප්‍රිය සංස්කෘතියෙන් ජනතාව මුදවා ගැනීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.සංවාද,සාකච්ඡා,දේශනා හා සම්මන්ත්‍රණ මගින් ජනතාව දැනුවත් කොට සකසුරුවමේ හා ඉතිරි කිරීමේ අගය අවධාරණයෙන් ම කිව යුතුය.
තව ද අනාගත පරපුරට මෙහි ඇති වටිනාකම කියා දීමටත්, බැංකු ආදී ආයතන තුළින් ඔවුන් ඊට යොමු කිරීමටත් වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ පාසල් මට්ටමේ සිට මෙය ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීමයි. ඉතිරි කිරිමට කුඩා දරුවා යොමු කිරීම සඳහා අප රටේ විවිධ පහසුකම් හා සංවිධාන ද තිබේ. ඉන් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට දරුවන් යොමු කිරීම දෙමාපියන්ගේ ද වගකීමකි. අද ලංකාව පුරා ඇති සෑම බැංකුවක ම විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන ළමා ඉතිරි කිරීමේ ගිණුම් ක්‍රම රාශියක් ඇත. ගිණුම් ආරම්භ කොට ඒවා ක්‍රිය කිරීම දෙමාපියන්ගේ යුතුකමකි. විද්‍යා තාක්ෂණය කොතෙක් දියුණු වුව ද අපේ පැරැන්නන්ගේ බොහෝ ක්‍රමෝපායන් විවිධ ක්ෂේත්‍ර තුළ අදටත් භාවිත කරන්නේ ඒවායේ ඇති වටිනාකම නිසාය. එසේම සකසුරුවම සහ ඉතිරි කිරීම යන පැරණි ශ්‍රී ලාංකිකයන් සතු වූ යහගුණ දෙක ද ක්‍රියාවට නංවා ඵල ප්‍රයෝජන ගෙන එහි අගය ඉදිරි පරපුරට ද ලබා දෙන්නට ක්‍රියා මාර්ග ගනිමු.