
වසර 44 ක තරම් දීර්ඝ කාලයක් අනුරාධපුර රාජ්‍යය පාලනය කළ වසභ රජතුමා පිළිබඳ තොරතුරු රැසක් මහා වංශයේ 35 වන පරිච්ඡේදයේ ඇතුළත් ව ඇත. මූලාශ්‍රගත තොරතුරු අනුව මෙතුමාගේ පාලන කාලය දේශපාලන, ආර්ථික, ආගමික හා සංස්කෘතික යන සෑම අංශයකින් ම ඉතා වැදගත් වේ. එතුමා නව රාජ පෙළපතක ආරම්භකයා විය. වසභ රජතුමාගෙන් ඇරඹි ලම්බකර්ණ රාජ පරම්පරාව සියවස් තුනහමාරකට වැඩි කාලයක් අනුරාධපුර රාජධානිය පාලනය කළේ ය.මෙතුමාගේ නම සඳහන් අභිලේඛන යාපනය අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ අසල පිහිටි වල්ලිපුරම්වලද, මඩකලපුවේ ද, දකුණේ තිස්සමහාරාමයේ ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද, තම්මැන්නාව, බුත්තල ආදී ප්‍රදේශවලින් හමු වී තිබීමෙන් වසභ රජුගේ බලය ලංකාව පුරාම පැතිර තිබුණු බව පෙනේ. මේ අනුව ඒකීය ලංකාවක් බිහි කිරීම වසභ රජතුමාගෙන් සිදුවූ විශිෂ්ට සේවාවකි.
එසේම වසභ රජතුමා මෙරට මහා පරිමාණ වාරිකර්මාන්ත ඉදි කිරීමේ පුරෝගාමියා ද විය. මෙතුමා විසින් වැව් 11 ක් හා ඇළ මාර්ග 12 ක් ද ඉදි කරන ලද බව වංස කථා වල සඳහන් වේ. මහ ලච්චිය, මානාකැටිය, නොච්චිපොතාන, හිරිවඩුන්න ආදී වැව් ඒ අතර වේ. අඹන්ගඟ හරස් කොට ඉදි කරන ලද ඇළහැර අමුණ මගින් හරවා ගත් ජලය කිලෝමීටර් 24ක් දිග ඇළහැර ඇළ ඔස්සේ උතුරු දෙසට ගෙන ගොස් ඇත. මෙතුමා උමං ජල මාර්ග තැනීමේ ආරම්භකයා ලෙස සැලකේ.
ආගමික දියුණුව උදෙසා ද මෙතුමා සේවාවන් රැසක් ඉටු කළේය. රෝහණයේ චිත්තල පබ්බතයේ ස්තූප දහයක් ද, මාගම අනුරාරාමය හා මුවේර විහාරය ආදී ආගමික ස්ථාන එතුමා ඉදිකළ බව ද චේතිය පබ්බත විහාරය, මහා ථුපය, ථුපාරාමය, ජය ශ්‍රී මහා බෝධිය යන ස්ථානවල දහස බැගින් පහන් පූජා කළ බවද සඳහන් වේ. ථූපාරාමය සඳහා චේතියඝරයක් ඉදි කිරීම ඉසුරුමුණි විහාරයට හා ථුපාරාමයට පොහොය ගෙවල් තැනවීම ආදී සේවා රැසක් මෙතුමා විසින් ඉටු කරන ලදී. ඒ හැර බදු අය කිරීම ක්‍රමවත් කිරීමටද මෙතුමා කටයුතු කළේය.
Leave a comment